ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාර්තු මාසය තුළ අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 51ක වටිනාකමකින් යුත් බැඳුම්කර මිලදී ගෙන ඇති බව එරට රජයේ ආචාර ධර්ම පිළිබඳ කාර්යාලය නිකුත් කළ මූල්‍ය වාර්තා මගින් හෙළි වී තිබේ. ඔහු විසින් සිදු කරන ලද මූල්‍ය ගනුදෙනු 175ක තොරතුරු මෙම වාර්තාවල ඇතුළත් වන අතර ඉන් බහුතරයක් ප්‍රාන්ත රජයන්, පාසල් දිස්ත්‍රික්ක සහ රජයට සම්බන්ධ ආයතන විසින් නිකුත් කරන ලද නාගරික බැඳුම්කර (Municipal Bonds) වේ.
මීට අමතරව ඔහු බලශක්ති, තාක්ෂණ, සෞඛ්‍ය සහ මූල්‍ය යන ක්ෂේත්‍රවල ප්‍රමුඛ සමාගම් රැසක ආයතනික බැඳුම්කර සඳහා ද ආයෝජනය කර ඇත. ඔහු ආයෝජනය කළ සමාගම් අතර මයික්‍රොසොෆ්ට් (Microsoft), මෙටා (Meta), එන්වීඩියා (Nvidia), බෝයිං (Boeing) සහ ජේ.පී. මෝගන් (JPMorgan Chase) වැනි ලොව දැවැන්ත සමාගම් ද ඇතුළත් වීම විශේෂත්වයකි. මෙම මූල්‍ය වාර්තාවලට අනුව ට්‍රම්ප් විසින් සිදු කළ බැඳුම්කර මිලදී ගැනීම්වල උපරිම වටිනාකම ඩොලර් මිලියන 161ක් දක්වා ඉහළ අගයක් ගත හැකි බව ද රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
















