උසස් තත්ත්වයේ වානේ සෙවිලි සහ ආවරණ නිෂ්පාදනය පිළිබඳ මෙරට ප්‍රමුඛතම සමාගමක් වන Sterling Steels (Pvt) Ltd, 2026 ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ආයතනය (SLIA) විසින් සංවිධානය කරන ලද වාර්ෂික නිෂ්පාදන සම්මාන උළෙලේදී කීර්තිමත් කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු මෙම උත්සවයේදී, සින්ක්-ඇලුමිනියම් ආලේපිත ප්‍රෝෆයිල් වානේ තහඩු කාණ්ඩය යටතේ සමාගම මෙම ඇගයීමට ලක් විය. නාගරික උෂ්ණත්වය අවම කිරීමට සහාය වන ‘තාප පරාවර්තන තාක්ෂණය’ සහිත නිෂ්පාදන හඳුන්වා දීම සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය උදෙසා දක්වන දායකත්වය මෙහිදී විශේෂ ඇගයීමට ලක් කෙරිණි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Sterling Steels සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කේමන්ත පෙරේරා මහතා සඳහන් කළේ, SLIA වෙතින් ලද මෙම ජාතික ඇගයීම තම කණ්ඩායමේ නොපසුබට උත්සාහය සහ නවෝත්පාදනය කෙරෙහි දක්වන උනන්දුව මනාව තහවුරු කරන්නක් බවයි. ඉදිරියටත් පරිසර හිතකාමී වානේ විසඳුම් නිර්මාණය කරමින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් කැපවීමට සමාගම බලාපොරොත්තු වේ. මෙම සම්මානයත් සමඟ විශ්වාසනීය ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු ලෙස Sterling Steels සතු ස්ථානය ක්ෂේත්‍රය තුළ තවදුරටත් ශක්තිමත් වී තිබේ.














