මහා භාණ්ඩාගාරය විසින් ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ණය වාරිකයකට අදාළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරයෙකුගේ ගිණුමට බැර වීමේ සිද්ධියත් සමඟ මෙරට රාජ්‍ය ආයතන සතු දත්තවල ආරක්ෂාව පිළිබඳව බරපතල සංවාදයක් මතුව තිබේ. මීට පෙර ද රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දත්ත සයිබර් හැකර්වරුන් විසින් අන්තර්ජාලය හරහා විකිණීමට තබා තිබූ බවට තොරතුරු අනාවරණය වූ අතර, භාණ්ඩාගාරයේ මෙම සිදුවීම එම අවදානමේ උච්චතම අවස්ථාව ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේ තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සඳහා ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) පසුගිය වසරේ ස්ථාපිත කළ ද, සයිබර් ආරක්ෂණ පනත මෙතෙක් බලාත්මක නොවීම විමර්ශන කටයුතුවලට විශාල බාධාවක් වී ඇත. විශේෂඥයන් පෙන්වා දෙන්නේ දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ආයතනයට (SL CERT) පවා මෙවැනි අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් නෛතික බලයක් නොමැති බවයි.
දැනට පවතින නීතිමය රාමුව තුළ සයිබර් අපරාධ පිළිබඳ විමර්ශන කිරීමේ බලය ඇත්තේ කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලවලට මෙන්ම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පමණක් වීම ද ගැටලු සහගත තත්ත්වයකි. මහා භාණ්ඩාගාරයේ මුදල් අතුරුදන් වීම වැනි බරපතල සිදුවීම් හුදු තාක්ෂණික දෝෂ ලෙස බැහැර කළ නොහැකි අතර, රටේ සමස්ත ඩිජිටල් ආරක්ෂණ ක්‍රියාවලියම කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය මේ හරහා තවදුරටත් අවධාරණය වේ.














