ලෝක යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ගෝලීය අර්බුද හමුවේ මෙරට ගොවි ජනතාව මුහුණ දී සිටින අසීරු තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ මූල්‍ය සහනයක් ප්‍රකාශයට පත් කර තිබේ. කෘෂිකාර්මික ක්ෂේත්‍රයට එල්ල වී ඇති අහිතකර බලපෑම් හමුවේ වගා කටයුතු අත්නොහැර ඉදිරියටම රැගෙන යාම සඳහා ගොවීන්ට අත්‍යවශ්‍යම වී තිබූ මෙම සහනය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විසින් අනාවරණය කළේ පොල්පිතිගම සේරුගස් යාය පහළ අලවත්තාව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
ඒ අනුව වී වගාකරන ඉඩම්වල අතිරේක බෝග වගාකරන ගොවීන් සඳහා මෙතෙක් ලබාදුන් රුපියල් 30,000ක සහනාධාරය රුපියල් 36,000 දක්වා ඉහළ නංවා ඇති අතර රුපියල් ලක්ෂ 126ක පිරිවැයකින් අදාළ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද දින 180කින් නිම කිරීමට නියමිතව ඇත. මීට සමගාමීව “සාප්” ව්‍යාපෘතිය යටතේ කාලගුණ වෙනස්වීම්වලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේ අරමුණින් මිරිස් වගාවේ නිරත 16,200කට, ගෙවතු වගාකරුවන් 800කට සහ තරුණ ව්‍යාවසායකයින් 1,200කට ප්‍රතිලාභ ලබාදීම අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය ප්‍රදේශයේදී ද සිදුකෙරුණි.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘති හරහා රජය බලාපොරොත්තු වන්නේ හුදු සහනාධාර ලබාදීමක් පමණක් නොවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ අනාගතය පිළිබඳව තීරණාත්මක පණිවිඩයක් සමාජගත කරමිනි. සැමදා සහනාධාර මතම යැපෙන පරාදීන ජන ජීවිතයක් වෙනුවට තමන්ගේම දෑතේ ශක්තියෙන් දෙපයින් නැගී සිටින අභිමානවත් ගොවි පරපුරක් නිර්මාණය කිරීම රජයේ අවසන් ඉලක්කය බව පැහැදිලි කළ අමාත්‍යවරයා, දේශීය කෘෂිකර්මාන්තය නව මාවතකට අවතීර්ණ කරවීමේ වගකීම ජනතාව හමුවේ තැබීය. අපේ දේශය ආහාරයෙන් ස්වයංපෝෂිත කිරීමේ සැබෑ අරගලය දැන් ආරම්භ වී ඇති අතර එහි ජයග්‍රහණය රැඳී පවතින්නේ සහනාධාරයෙන් ඔබ්බට ගිය ගොවියාගේ කැපවීම මතය.














