2025 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ වසරේ (2026) පළමු කාර්තුවේදී ඇඟලුම්, රෙදිපිළි සහ තේ යන ප්‍රධාන අපනයන ක්ෂේත්‍රවලින් ලැබුණු ආදායම පහත වැටී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති මංගල විජේසිංහ මහතා මෙම දත්ත අනාවරණය කළේය.
පසුගිය වසරේ පළමු කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,383 ක් වූ ඇඟලුම් සහ රෙදිපිළි ආදායම මේ වසරේදී ඩොලර් මිලියන 1,272 දක්වා අඩුවී තිබේ. එමෙන්ම ඩොලර් මිලියන 370 ක් වූ තේ අපනයන ආදායම මේ වසරේදී ඩොලර් මිලියන 351 දක්වා පහත වැටී ඇත. රබර්, කුළුබඩු සහ ඛනිජ තෙල් නිෂ්පාදනවලින් ලැබෙන ආදායම ද පසුගිය වසරට සාපේක්ෂව අඩුවී ඇති බව වාර්තා වේ.
අංශ කිහිපයක ආදායම් පහත වැටුණද, මේ වසරේ පළමු කාර්තුවේ සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 4,308 ක් ලෙස සටහන් වී තිබේ. එය පසුගිය වසරට වඩා සියයට 2 ක සුළු වර්ධනයකි. මීට වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 3,387 ක් සහ සේවා අංශයෙන් ඩොලර් මිලියන 921 ක් දායක වී ඇත.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම අපනයනකරුවන්ට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. විශේෂයෙන් මැදපෙරදිග රටවලට භාණ්ඩ යැවීමේදී පවතින දුෂ්කරතා හේතුවෙන් විකල්ප මාර්ග ඔස්සේ භාණ්ඩ යැවීමට අපනයනකරුවන් යොමුවී ඇති අතර, භාණ්ඩ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ද මෙලෙස ආදායම් අඩුවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














