ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් දෙරටේ ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා (24) කොළඹදී පැවැත්විණි.
ඉන්දුනීසියානු ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුහම්මද් අනිස් මට්ටා (Muhammad Anis Matta) මහතා ප්‍රමුඛ දූත පිරිස මෙම සාකච්ඡාවට එක් වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා මීට සහභාගී වූහ.
දෙරට අතර පවතින ආගමික හා සංස්කෘතික සමීපතාව පදනම් කරගනිමින් නව අවස්ථා උදාකර ගැනීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය. අනාගතයේදී දෙරටේ අදාළ ආයතන අතර වඩාත් ක්‍රියාකාරී සහයෝගීතාවයක් ගොඩනැගීමට ද දෙපාර්ශවය එකඟතාව පළ කර තිබේ.
ඉන්දුනීසියානු තානාපතිනී දේවි ගුස්ටිනා ටෝබින් (Dewi Gustina Tobing) මැතිනිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග ආසියා හා මධ්‍යම ආසියා අංශයේ අධ්‍යක්ෂ මහේෂ් ප්‍රේමතිලක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම හමුව හරහා ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශවික විශ්වාසය තවදුරටත් තහවුරු වූ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














