මෙරට සංචාරයක නිරත වී නැවත සිය මව් රට බලා යෑමට සූදානම්ව සිටි 33 හැවිරිදි ආර්ජන්ටිනා ජාතික තරුණියක බස් රථයක අමතක වී දමා ගිය වටිනා ලියකියවිලි සහිත ගමන් මල්ල ඉතා කෙටි වේලාවක් තුළ සොයා දීමට දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් සමත් විය.
ගාල්ලේ සිට මාතර බලා බස් රථයකින් ගමන් කරමින් සිටි මෙම තරුණියට සිය ගමන් මල්ල බස් රථයේ අමතක වී ගොස් තිබුණි. ඇය විදේශගත වීමට නියමිත ගුවන් යානය සඳහා වේලාව ඉතා ආසන්නව තිබූ බැවින් මෙම ලියකියවිලි අහිමි වීම ඇයට විශාල ගැටලුවක් විය.
ඇය සතුව බස් රථය පිළිබඳ නිවැරදි තොරතුරක් නොතිබුණ ද ඇය ලබා දුන් ඡායාරූපයක් පදනම් කර ගනිමින් අදාළ බස් රථය හඳුනා ගැනීමට නිලධාරීන් සමත් විය. දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ මහේෂ් දර්ශන ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් සිය නිවාඩු කාලය පවා නොතකා මේ සඳහා කඩිනමින් මැදිහත් වී තිබේ.
මාතර පොලිසිය සහ මිරිස්ස සංචාරක පොලිසිය සමඟ එක්ව අදාළ බෑගය සොයාගත් නිලධාරීන් එය වහාම තරුණිය වෙත භාර දීමට කටයුතු කළහ. අනතුරුව ඇයට ගුවන් යානය වෙත යාමට ප්‍රමාණවත් කාලයක් නොමැති වූ බැවින් ඉතා ඉක්මනින් කටුනායක ගුවන් තොටුපළ වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද සලසා දීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.
නිලධාරීන්ගේ මෙම මානුෂීය සහ කැපවීමෙන් යුත් ක්‍රියාව පිළිබඳව ආර්ජන්ටිනා ජාතික තරුණිය සිය කෘතඥතාව පළ කර සිටියි.














