හෙරොයින් මත්කුඩු සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මවක සහ දියණියක අත්අඩංගුවට ගැනීමට මිල්ලනිය පොලිසිය සමත්ව තිබේ. හල්තොට, කෙලෙස්ගමුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියක් සහ ඇගේ 45 හැවිරිදි මව මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
සැකකාර තරුණිය මානාන දෙස සිට මිල්ලනිය දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී ඇය සන්තකයේ තිබී මත්කුඩු පැකට් 15ක් සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 51,570ක මුදලක් සොයාගෙන ඇත. පසුව ඇයගෙන් හෙළි වූ තොරතුරු මත කෙලෙස්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී, පලා යාමට උත්සාහ කළ ඇගේ මව සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2,220ක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් තරුණියගේ වැඩිමහල් සහෝදරයා සහ මවගේ දෙවන පුරුෂයා ද මේ වන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන බවයි. අත්අඩංගුවට ගත් මව සහ දියණිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මැයි මස 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
මිල්ලනිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ඉන්දික මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදු කළහ.














