විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ රක්ෂිත හෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ලබා දුන් අධිකරණ තීන්දුවක් අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාග කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අද (27) ඉවත් විය.
අදාළ පෙත්සම අද දින විභාගය සඳහා කැඳවනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහිය. එහිදී එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා ප්‍රකාශ කළේ පෞද්ගලික හේතූන් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවයි.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද රිට් පෙත්සමකට අනුව මීට පෙර අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවකට එරෙහිව මෙම අභියාචනය ගොනු කර තිබේ. විනිසුරුවරයා ඉවත් වීමත් සමඟ නඩුව ඉදිරි දිනයකදී වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමට නියමිතය.














