වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ඒහිපස්සිකෝ” ජාත්‍යන්තර සාම පා ගමනෙහි (Walk for Peace) අද (27) දින ගමන් වාරය සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සහභාගී වූවාය. මහර ප්‍රදේශය පසු කරමින් කැලණිය දක්වා ගමන් ගන්නා මෙම පාද යාත්‍රාවට එක්වෙමින් ඇය මහා සංඝරත්නයට සිය ගෞරවය පුද කළාය.
දැඩි හිරු රශ්මිය මධ්‍යයේ වුවද දහස් සංඛ්‍යාත ජනතාවක් මෙම පා ගමනට එක්ව සිටිති. මාර්ගයේ රශ්මියෙන් මහා සංඝරත්නයට සිදුවන පීඩාව අවම කිරීම සඳහා බැතිමතුන් මාවත දිගේ කෙසෙල් කොළ සහ පාවඩ එළමින් මල් අතුරා ගෞරව දක්වන ආකාරය දැකගත හැකි විය. බෞද්ධ ජනතාවට අමතරව අන්‍යාගමික නායකයින් සහ විවිධ ජාතීන් නියෝජනය කරන පිරිස් එක්ව සිටීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.
පෙරවරු 11.00ට කැලණිය රජමහා විහාරයේදී පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් රාජ්‍ය උත්සවය පැවැත්වේ. එහිදී ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළයක් නියෝජිත පිරිසට භාර දීම සිදු කරන අතර පස්වරු 5.30ට නිදහස් චතුරස්‍රයෙන් යළි ඇරඹෙන පා ගමන පස්වරු 7.00ට කොළඹ ගංගාරාම විහාරස්ථානයට ළඟා වීමෙන් පසු නිමාවට පත්වනු ඇත.
මෙම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක පූර්ණ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වේ.














