ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මෙරටට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම සිය මෙහෙයුම සාර්ථකව අවසන් කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවී සිය නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත. අප්‍රේල් 20 සිට 24 දක්වා කාලය තුළ මෙම සමාලෝචන කටයුතු සිදු විය.
මෙම මෙහෙයුමේදී විශේෂඥ කණ්ඩායම රත්නපුර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වෙමින්, රජය විසින් ක්‍රියාත්මක කරන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” (Arogya Health and Wellness Centers) සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතනවල ක්‍රියාකාරීත්වය සමීපව නිරීක්ෂණය කර තිබේ.
ශ්‍රී ලංකාව විශ්වීය සෞඛ්‍ය ආවරණයක් (Universal Health Coverage) කරා යන ගමනේදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ වැදගත්කම විශේෂඥ කණ්ඩායම අවධාරණය කළහ. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහිදී පොරොන්දු විය.
WHO විශේෂඥ නිර්දේශ මත පදනම් වෙමින් මෙරට සෞඛ්‍ය සේවා ජාලය වඩාත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් බවට පත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සහතික විය.














