එළඹෙන මැයි 01 වැනිදා මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ (SJB) මැයි දින රැලිය සඳහා සහභාගී වන ලෙස එම පක්ෂය විසින් එක්සත් ජාතික පක්ෂය (UNP) වෙත නිල වශයෙන් ආරාධනා කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව මෙම ආරාධනා ලිපිය එක්සත් ජාතික පක්ෂය වෙත යොමු කර ඇත.
වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සහ පුරවැසි අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.
සජබ මැයි දින රැලිය එළඹෙන මැයි 01 වැනිදා පස්වරු 2.00ට මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙම ආරාධනය මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ නව පෙරළියකට මඟ පාදනු ඇතිද යන්න පිළිබඳව දේශපාලන විචාරකයන්ගේ දැඩි අවධානය යොමුව පවතී.














