රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධයේදී රුසියාව වෙනුවෙන් සටන් වැදී මියගිය උතුරු කොරියානු සොල්දාදුවන් සිහිකිරීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං උන් විශේෂ සැමරුම් උත්සවයකට එක්ව තිබේ.
උතුරු කොරියානු නායක කිම් ජොං උන් සහ රුසියානු ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රි බෙලූසොව් (Andrey Belousov) විසින් ප්යොංයැං අගනුවරදී මියගිය සෙබළුන් වෙනුවෙන් ඉදි කළ විශේෂ ස්මාරකයක් විවෘත කරන ලදී. හමුදා ජෙට් යානා සංදර්ශන සහ සුදු බැලූන් අහසට මුදාහරිමින් ඉතා උත්කර්ෂවත් අන්දමින් මෙම සැමරුම පවත්වා ඇත.
වාර්තාවලට අනුව යුක්රේන ගැටුමේදී රුසියානු හමුදාවලට සහාය වීම සඳහා උතුරු කොරියානු සෙබළුන් 15,000කට අධික පිරිසක් යොදවා ඇති අතර, ඉන් 2,000ක් පමණ මේ වන විට මියගොස් ඇති බව සැලකේ.
මෙසේ සොල්දාදුවන් සහ යුද ආධාර සැපයීම වෙනුවෙන් රුසියාව විසින් උතුරු කොරියාවට අවශ්‍ය ආහාර, මූල්‍ය ප්‍රතිපාදන සහ උසස් යුද තාක්ෂණික සහාය ලබා දීමට එකඟ වී ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මෙම සැමරුම හරහා රුසියාව සහ උතුරු කොරියාව අතර පවතින යුදමය සහ දේශපාලනික සන්ධානය තවදුරටත් ශක්තිමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.













