තායිලන්තයේ සිට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ආ තරුණ භික්ෂූන්ට ආධාර අනුබල දුන් බව කියන කඩවත රම්මුතුගල ශ්‍රී ලංකාරාම විහාරයේ අගුණකොලේ අමිතානන්ද නමැති භික්ෂුව එළඹෙන මැයි 02 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය අද (27) නියෝග කළාය.
කටුනායක ගුවන්තොටුපළේදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ භික්ෂූන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී, එම මත්ද්‍රව්‍ය තොගය භාරගැනීම සඳහා අමිතානන්ද භික්ෂුව ගුවන්තොටුපළට පැමිණ සිට ඇත. අනෙක් භික්ෂූන් අත්අඩංගුවට පත්වීමත් සමඟ කලබල වී එතැනින් පලාගිය සැකකාර භික්ෂුව මිරිස්වත්ත ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර භික්ෂුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇති බව නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය. එමෙන්ම, තරුණ භික්ෂූන් තායිලන්ත චාරිකාව සඳහා සම්බන්ධ කර ගැනීමට භාවිත කළ ‘වට්සැප්’ (WhatsApp) සමූහය මෙහෙයවා ඇත්තේ ද මෙම අමිතානන්ද භික්ෂුව විසින් බව විමර්ශනවලදී හෙළි වී ඇත.
මත්ද්‍රව්‍ය වැළැක්වීමේ පනතේ 54 වන වගන්තිය යටතේ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා සැකකාර භික්ෂුව මැයි 02 දක්වා රඳවා තබා ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා විසින් මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.











