ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත්, ඒ පිළිබඳ නිල නිවේදනය අනිද්දා (අප්‍රේල් 29) නිකුත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.
වසර හතකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තනතුර හෙබවූ ශම්මි සිල්වා මහතා, රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව පැවසේ. පසුගිය සිකුරාදා ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා කර ඇති අතර, එහිදී ගෞරවාන්විතව ධුරයෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
හෙට (අප්‍රේල් 28) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතය. එහිදී ඔහු සිය ඉල්ලා අස්වීම පිළිබඳව විධායක කමිටු සාමාජිකයින් නිල වශයෙන් දැනුවත් කරනු ඇත. සභාපතිවරයා සමඟ සමස්ත විධායක කමිටුවම ඉල්ලා අස්වන්නේද නැතහොත් ඔහු පමණක් ඉවත්වන්නේද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද වාර්තා වේ.
ශම්මි සිල්වා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු, ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු කමිටුවක් පත්කිරීමට හෝ දක්ෂ නිලධාරියෙකු යටතට පාලනය පැවරීමට රජය සූදානම් වේ. නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පත්කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව ද දේශපාලන සහ ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.
මෑත කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පහළට ඇද වැටීම සහ ක්‍රීඩකයින්ගේ කළමනාකරණය පිළිබඳව එල්ල වූ දැඩි විවේචන මෙම ඉල්ලා අස්වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව පෙනී යයි.













