කුරුණෑගල ශික්ෂණ රෝහලේදී එකවර නව නිවුන් දරුවන් නව දෙනෙකු (09) උපත ලබා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ගොතන ලද්දක් බව රෝහල් පාලනාධිකාරිය අවධාරණය කරයි.
පසුගිය දින කිහිපය පුරා කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් සකස් කරන ලද ඉතා තාත්වික රූපරාමු සහ ඡායාරූප යොදා ගනිමින් මෙම පුවත ප්‍රචාරය කර තිබුණි. මුලින්ම මෙරට ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියකගේ නම ඈඳමින් ප්‍රචාරය වූ මෙම පුවත, පසුව දෙමළ ජාතික මවකට දරුවන් නව දෙනෙකු උපන් බව පවසමින් විවිධ මුහුණුවරින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇත.
රෝහල් බලධාරීන් පවසන්නේ කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල ජනප්‍රියත්වය (Reach) වැඩි කර ගැනීම සඳහා ජනතාව නොමඟ යවන සුළු මෙවැනි පුවත් පළ කර ඇති බවයි. මෙම අසාමාන්‍ය සිදුවීම පිළිබඳව බොහෝ පිරිස් කුතුහලයෙන් යුතුව රෝහලෙන් විමසීම් කිරීමට පටන් ගැනීමත් සමඟ මෙම විශේෂ දැනුම්දීම සිදු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි සංවේදී හෝ අසාමාන්‍ය පුවත් ලැබුණු විට ඒවා තහවුරු කර නොගෙන බෙදා හැරීමෙන් වළකින ලෙස රෝහල් පාලනාධිකාරිය සහ ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම AI තාක්ෂණය මඟින් සත්‍ය ලෙස පෙනෙන අසත්‍ය රූපරාමු නිර්මාණය කළ හැකි බැවින්, නිල පුවත් මූලාශ්‍ර කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙස වැඩිදුරටත් දැනුම් දෙයි.














