ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි නඩුව ලබන මැයි 26 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (27) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා හතක් යටතේ නඩු පවරා තිබේ. ඉන් නඩු දෙකක් මේ වන විට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අතර, සෙසු නඩු පහ වෙනත් අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ වෙත යොමු කරන්නේද යන්න පිළිබඳ තීරණය මැයි 26 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනවිරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, දැනට පවතින නඩු දෙක අවසන් වූ පසු සෙසු නඩු එකින් එක විභාගයට ගන්නා ලෙසයි. සියලු නඩු එකවර විභාග කිරීම සැකකාරියට තාක්ෂණික ගැටලුවක් නොවුණද, එයින් ඇය දැඩි මානසික පීඩාවකට පත්වන බව නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ නඩු අනුපිළිවෙළින් විභාග කරන්නේද සහ අනෙකුත් නඩු අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ වෙත යොමු කරන්නේද යන්න පිළිබඳව මැයි 26 වැනිදා සිය නියෝගය ලබා දෙන බව ප්‍රකාශ කළේය.
පසුගිය වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව ඩයනා ගමගේ මහත්මියට ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය මෙන්ම අමාත්‍ය ධුරය ද අහිමි විය.














