කටුනායක ගුවන්තොටුපොළේදී මත්ද්‍රව්‍ය සමඟ භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමේදී මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ලබා ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. මහව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන බවත්, වැරදිකරුවන්ගේ තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. දුබලයාට සහ බලවතාට ලෙස නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බව ඔහු පැවසීය.
බලයට පත්වූ දින සිට සියලු නීති විරෝධී ක්‍රියාකාරකම් මර්දනය කිරීමට රජය කැපවී සිටින බවත්, යම් අයෙකු නීතිය උල්ලංඝනය කරන්නේ නම් ඔහුව නීතියේ රැහැනට හසුකර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම සිද්ධිය සමාජය තුළ දැඩි කතාබහට ලක්ව ඇති පසුබිමක, ආගමික සංස්ථාවට හානියක් නොවන පරිදිත්, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන පරිදිත් කටයුතු කිරීම රජයේ අරමුණ බව ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වේ.











