කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විත්ති කූඩුව තුළදී පාතාල නායක ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බව කියන සැකකාර නීතිඥ තමරා කුමාරි අබේරත්න මහත්මිය සම්බන්ධයෙන් රහස් පොලිසිය (CID) තැතිගන්වනසුලු තොරතුරු රැසක් අධිකරණයට ඉදිරිපත් කළා. වසර දෙකක කාලයක් තුළ ඇයගේ බැංකු ගිණුම් හරහා රුපියල් කෝටි 24ක මුදලක් සංසරණය වී ඇති බවත්, ඇය සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ විදේශ රටවල් 15ක සංචාරය කර ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.
රහස් පොලිසිය පෙන්වා දුන්නේ 2025 පෙබරවාරි 19 වැනිදා සිදු වූ මෙම වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුට නීතිඥ වෙස් ගැනීමට අවශ්‍ය හැඳුනුම්පත් සහ ගිනිඅවිය සඟවා ගැනීමට අවශ්‍ය නීති පොතක් සපයා ඇත්තේ ද මෙම නීතිඥවරිය විසින් බවයි. එම හැඳුනුම්පත්වල ඇයගේ අත්සන පැහැදිලිව සටහන් වී ඇති අතර, ඇය ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් භාවිතා කරමින් බැංකු ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බව ද හෙළි වී තිබෙනවා.
කෙහෙල්බද්දර පත්මේ වැනි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බව කියන ඇයගේ දඹුල්ලේ පිහිටි නිවස මුර කිරීමට පවා පාතාල සාමාජිකයෙකු සම්බන්ධ වී ඇති බව අධිකරණයේදී ප්‍රකාශ වුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 6ක් රඳවාගෙන සිටි සැකකාරිය ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, ඇයගේ බැංකු ගිණුම් පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද රහස් පොලිසියට නියම කළා.













