මෙරට පාසල් පද්ධතිය තුළ විදුහල්පති සේවයේ පවතින දැඩි පුරප්පාඩු පියවීමට නියමිතව තිබූ තරග විභාගය කල් දැමීමට රජය ගත් තීරණයට ශ්‍රී ලංකා වෘත්තීය විදුහල්පතිවරුන්ගේ සංගමය සිය දැඩි විරෝධය පළ කර සිටී. අද (27) පැවැත්වීමට තිබූ මෙම විභාගය කල් දැමීම හේතුවෙන් පාසල් පරිපාලනය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමයේ සභාපති සුගීස්වර විමලරත්න මහතා පෙන්වා දෙන පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙසේය:
දිවයින පුරා පවතින පාසල් 10,100ක් පාලනය කිරීම සඳහා විදුහල්පතිවරුන් 16,512ක් සිටිය යුතු වුවත්, දැනට සේවයේ නිරතව සිටින්නේ 12,000කටත් අඩු පිරිසකි. ඒ අනුව විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව 5,000කට අධිකය.
මෙම පුරප්පාඩු හේතුවෙන් බොහෝ පාසල්වල පරිපාලන කටයුතු අඩාල වී ඇති බැවින්, කල් දැමූ විභාගය ඉදිරි සති දෙක ඇතුළත පැවැත්වීමට රජය පියවර ගත යුතු බව එම සංගමය අවධාරණය කරයි. එසේ නොමැති වුවහොත් ආණ්ඩුවට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවට ද විදුහල්පතිවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටී.














