යාල ජාතික උද්‍යානය තුළ අක්කර දෙකහමාරක භූමි ප්‍රමාණයක පවත්වාගෙන ගිය, රුපියල් කෝටි දෙකහමාරකට (මිලියන 25) අධික වටිනාකමකින් යුත් මහා පරිමාණ ගංජා වගාවක් තණමල්විල පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී වටලා තිබේ.
තණමල්විල කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරක් මත, කළුතර ගුවන් හමුදා කඳවුරේ ඩ්‍රෝන කැමරා (UAV) තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙම රහසිගත වගාව හඳුනාගෙන ඇත. වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි තිබූ උසස් තත්ත්වයේ ගංජා ගස් 35,000කට අධික ප්‍රමාණයක් පොලිස් නිලධාන් විසින් ගලවා ගිනි තබා විනාශ කර ඇති බව වාර්තා වේ.
මෙම වගාව පවත්වාගෙන ගිය තණමල්විල සහ කිතුල්කොටේ පදිංචි 33 සහ 36 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනිතුවක්කුවක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොනරාගල උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.














