සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (28) සිලෙට්හිදී ආරම්භ වේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට පිවිසෙන්නේ ජයග්‍රාහී බලාපොරොත්තු සහිතවයි.
මෙම සංචිතයේ විශේෂත්වය වන්නේ කන්තලේ මැදි මහ විදුහලෙන් ක්‍රිකට් ලොවට පිවිසි 19 හැවිරිදි මිතලි අයෝද්‍යා ප්‍රථම වරට ජාත්‍යන්තර විස්සයි20 සංචිතයට එක්ව සිටීමයි. වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන ඇය මීට පෙර නැඟීඑන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියේදී ද දස්කම් දක්වා තිබේ. මිතලි සමඟ රශ්මිකා සෙව්වන්දි ද සංචිතයට ඇතුළත් කර ඇති අතර එක්දින තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට මෙවර විස්සයි20 සංචිතයේ ඉඩ වෙන්වී නොමැත. බංග්ලාදේශ කණ්ඩායම ද 32 හැවිරිදි සර්මින් සුල්තානා නම් නවක ක්‍රීඩිකාව සංචිතයට කැඳවමින් ශක්තිමත් මුහුණුවරකින් තරගාවලියට අවතීර්ණ වේ.
ශ්‍රී ලංකා සංචිතය: චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, ඉමේෂා දුලානි, හංසිමා කරුණාරත්න, කෞෂානි නුත්‍යාංගනා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, රශ්මිකා සෙව්වන්දි, කවීෂා දිල්හාරි, දෙව්මි විහංගා, මල්කි මදාරා, මිතලි අයෝද්‍යා, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, නිමේෂා මදුෂානි.














