පවතින ඉරාන යුද්ධය හමුවේ කලාපීය සහයෝගීතාවය ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඉරාන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය රේසා තලායි-නික් (Reza Talaei-Nik), රුසියාවේ සහ බෙලාරුස් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යවරුන් සමඟ විශේෂ සාකච්ඡා පවත්වා තිබේ. ඊයේ (27) කිර්ගිස්ථානයේදී පැවැති මෙම හමුවේදී රුසියානු ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රෙයි බෙලවුසොව් (Andrei Belousov) අවධාරණය කළේ, පවතින ගැටුම් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පමණක් විසඳාගත යුතු බවයි.
රුසියාව සහ ඉරානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය ඉදිරියටත් නොසැලී පවතින බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී සහතික විය. මේ අතර ඉරාන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා බෙලාරුස් රාජ්‍යයේද සංචාරය කළ අතර, එහිදී එරට ආරක්ෂක අමාත්‍ය වික්ටර් ක්‍රෙනින් සමඟ මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇත. සාකච්ඡා මාර්ගයෙන් යුද්ධය නතර කිරීම එකම විසඳුම බව දෙපාර්ශවයම එහිදී එකඟතාවයට පැමිණ තිබේ.
මොස්කව් නුවරදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි අතර ද හමුවක් සිදුවිය. ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන පීඩනය හමුවේ ඉරාන ජනතාව සිය ස්වාධිපත්‍යය රැකගැනීම සඳහා දක්වන ධෛර්යය ජනාධිපති පුටින්ගේ ප්‍රශංසාවට ලක් වූ අතර, ඉරානයට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට රුසියාව සූදානම් බව ඔහු එහිදී ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ඉරානය ඉදිරිපත් කළ නවතම සාම යෝජනා සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අකමැත්ත පළ කර ඇති බව ද වාර්තා වේ.














