ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) සිය 40 වැනි සංවත්සරයට සමගාමීව, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ (SLAB) අනුමැතිය සහිත “සදාචාරාත්මක වෙළඳ සහතිකය” (Certificate of Ethical Trading – CET) නිල වශයෙන් දියත් කර තිබේ. 2019 වසරේදී මුලින්ම හඳුන්වා දුන් මෙම සහතිකය, නව ප්‍රතීතනයත් සමඟ ජාත්‍යන්තර මට්ටමේ ඉහළ පිළිගැනීමක් ලබා ගැනීමට සමත්ව ඇත.
මෙම සහතිකය හරහා ශ්‍රී ලංකා අපනයනකරුවන්ට තම ව්‍යාපාරික කටයුතුවල පවතින විනිවිදභාවය, යහපාලනය, තිරසාර කම්කරු භාවිතයන් සහ පරිසර හිතකාමී බව ජාත්‍යන්තර ගැනුම්කරුවන් වෙත සහතික කළ හැකිය. වර්තමාන ගෝලීය වෙළඳපල තුළ හුදෙක් ගුණාත්මක නිෂ්පාදනයක් ලබාදීමට එහා ගිය සදාචාරාත්මක වගකීමක් ගැනුම්කරුවන් අපේක්ෂා කරන බැවින්, මෙම සහතිකය මෙරට අපනයන ක්ෂේත්‍රයේ තරගකාරීත්වය ඉහළ නැංවීමට මහත් පිටුවහලක් වනු ඇත. කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (CWIT) සහ සම්පත් බැංකුව මෙම වැඩපිළිවෙළ සඳහා මූල්‍ය සහ සහයෝගීතා දායකත්වය ලබා දී තිබේ.














