ලොව ප්‍රකට පොප් ගායන තරුවක වන ටේලර් ස්විෆ්ට්, කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කෙරෙන ව්‍යාජ වීඩියෝ සහ හඬ පට (Deepfakes) වලින් ආරක්ෂා වීම සඳහා සිය කටහඬ සහ රුව වෙළඳ ලකුණු (Trademarks) ලෙස ලියාපදිංචි කිරීමට පියවර ගෙන තිබේ. මේ යටතේ ඇයගේ හඬ ඇතුළත් ශ්‍රව්‍ය පට දෙකක් සහ වේදිකාවේ ගිටාරයක් රැගෙන සිටින ඡායාරූපයක් සඳහා ඇමරිකානු පේටන්ට් සහ වෙළඳ ලකුණු කාර්යාලයට අයදුම්පත් ඉදිරිපත් කර ඇත. කෘතිම බුද්ධිය භාවිත කරමින් කලාකරුවන්ගේ අවසරයකින් තොරව ඔවුන්ගේ කටහඬ අනුකරණය කරමින් නව නිර්මාණ බිහිවීම වැළැක්වීමේ අරමුණින් මෙම ඓතිහාසික පියවර ගෙන ඇති බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
සාමාන්‍යයෙන් ගායක ගායිකාවන් සිය නිර්මාණ ආරක්ෂා කර ගැනීමට ප්‍රකාශන හිමිකම් (Copyright) නීතිය භාවිතා කළ ද, AI තාක්ෂණය මගින් පවතින පටිගත කිරීම් සොරා නොගෙන නව නිර්මාණ හරහා කලාකරුවෙකුගේ අනන්‍යතාවය අනුකරණය කිරීම පාලනය කිරීමට මෙම වෙළඳ ලකුණු ලියාපදිංචිය අමතර ආරක්ෂාවක් සපයනු ඇත. මීට පෙර සුපිරි නළු මැතිව් මැකෝනාහි ද මෙවැනිම අයදුම්පත් ඉදිරිපත් කර ඇති අතර, ටේලර් ස්විෆ්ට්ගේ මෙම පියවර හරහා AI මගින් නිර්මාණය කෙරෙන ව්‍යාජ ප්‍රචාරණ සහ අසභ්‍ය දර්ශනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇයගේ කණ්ඩායමට වැඩි බලයක් හිමිවනු ඇත.














