මෙක්සිකෝවේ බලවත්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක් වන ‘ජලිස්කෝ නිව් ජෙනරේෂන්’ (CJNG) කල්ලියේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියෙකු වන අවුඩියස් ෆ්ලෝරස් (Audias Flores) හෙවත් ‘එල් ජාඩිනෙරෝ’ (El Jardinero) මෙක්සිකානු විශේෂ බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙක්සිකෝවේ බටහිර නයරිට් (Nayarit) ප්‍රාන්තයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපවහන කාණුවක සැඟව සිටියදීය. මෙම මෙහෙයුම සඳහා ගුවන් යානා, හෙලිකොප්ටර් යානා මෙන්ම ඇමෙරිකානු බුද්ධි අංශවල සහය ද ලබාගෙන තිබූ බව ආරක්ෂක අමාත්‍ය ඕමාර් ගාර්ෂියා හර්ෆුච් (Omar Garcia Harfuch) මහතා තහවුරු කළේය.
ජලිස්කෝ කල්ලියේ නායකයා වූ ‘එල් මෙන්චෝ’ (El Mencho) පසුගිය පෙබරවාරි මාසයේදී ආරක්ෂක අංශ මෙහෙයුමකින් මියගිය අතර, එම කල්ලියේ මීළඟ නායකයා ලෙස පත්වීමට වැඩි ඉඩක් පැවතියේ ෆ්ලෝරස් හටය. මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයේ විශාල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය පාලනය ඔහු යටතේ පැවතිණි.
ෆ්ලෝරස් අත්අඩංගුවට ගැනීම ජලිස්කෝ මත්ද්‍රව්‍ය ජාලයට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයක් ලෙස සැලකේ. ඔහුට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ද නඩු පවරා ඇති බැවින්, ඉදිරියේදී ඔහුව ඇමෙරිකාවට පිටුවහල් කිරීමට වැඩි ඉඩක් පවතින බව ආරක්ෂක අංශ පවසයි.














