මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයක් විසින් සොරා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද (28) රැස්වීමට නියමිතය. මෙම වංචාව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාව කාරක සභාව හමුවට කැඳවීම පිළිබඳව අද පැවැත්වෙන රැස්වීමේදී තීරණයක් ගන්නා බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මෙම මුදල් සොරකම පිළිබඳව මුදල් කාරක සභාව සිදුකරන විමර්ශන සඳහා රජය පූර්ණ සහයෝගය ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ද අවධාරණය කර තිබේ. රජයේ මූල්‍ය පාලනය සහ මහජන මුදල්වල ආරක්ෂාව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතු කර ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශව හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම සඳහා පාර්ලිමේන්තු මට්ටමින් කඩිනම් මැදිහත් වීමක් සිදුකළ යුතු බව මුදල් කාරක සභාවේ ස්ථාවරය වී ඇත.














