කෘමිනාශක භාවිතයට සහ බේයර් (Bayer) සමාගමේ ‘Roundup’ වල් නාශකය හේතුවෙන් පිළිකා ඇතිවන බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පවතින නඩු කටයුතුවලට මැදිහත් වෙමින් “Make America Healthy Again” (MAHA) ක්‍රියාකාරීන් ඊයේ (27) අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත විය. ‘Roundup’ වල් නාශකය භාවිතය නිසා පිළිකා වැළඳුණු බව පවසමින් දහස් සංඛ්‍යාත පිරිසක් පවරා ඇති නඩු නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් ජර්මානු බේයර් සමාගම ඉදිරිපත් කළ කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම විරෝධතාව පැවැත්විණි. “The People vs. Poison” (ජනතාව එදිරිව වස විස) නමින් හැඳින්වූ මෙම රැලියට එක්වූ ක්‍රියාකාරීන්, “වස විසවලට මුක්තියක් එපා” සහ “පිළිකා කාරක කෙතරම් ප්‍රමාණයක් පිළිගත හැකිද?” වැනි සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් සිය අප්‍රසාදය පළ කළහ.
“MAHA” යන නාමය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “Make America Great Again” (MAGA) සටන් පාඨයට සමානව සකස් කරන ලද්දක් වුවද, මෙම නඩුවේදී ට්‍රම්ප් පරිපාලනය බේයර් සමාගමට සහය දැක්වීම විරෝධතාකරුවන්ගේ දැඩි විවේචනයට ලක්විය. රැලිය ඇමතූ ක්‍රියාකාරීන් අවධාරණය කළේ, ජනතාවට වස පොවන සමාගම් ආරක්ෂා කරන අතරතුර අමෙරිකාව සෞඛ්‍ය සම්පන්න කළ නොහැකි බවයි. එසේම එළඹෙන නොවැම්බර් කොංග්‍රස් මණ්ඩල මැතිවරණයේදී MAHA ව්‍යාපාරයේ සහය ලබා ගැනීමට නම්, කෘමිනාශක සම්බන්ධයෙන් පවතින රජයේ ප්‍රතිපත්තිය වහාම වෙනස් කළ යුතු බව ද ඔවුහු පෙන්වා දුන්හ. කෘෂිකර්මාන්තයේදී භාවිතා කරන මෙවැනි රසායනික ද්‍රව්‍යවල බලපෑම සහ ඉන් ඇතිවන සෞඛ්‍යමය අවදානම පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු කරවීමට මෙම විරෝධතාව සමත් විය.
















