මෙක්සිකෝවේ චිහුවාහුවා (Chihuahua) ප්‍රාන්තයේ සිදුකළ මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුමකට ඇමෙරිකානු බලධාරීන් අනවසරයෙන් සම්බන්ධ වීම පිළිබඳව මෙක්සිකෝ රජය ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සිය දැඩි විරෝධය පළ කර තිබේ. මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් (Claudia Sheinbaum) මහත්මිය ඊයේ (27) ප්‍රකාශ කළේ, මෙවැනි සිදුවීම් ඉදිරියේදී කිසිසේත්ම සිදු නොවිය යුතු බවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වොෂින්ටනය වෙත දන්වා ඇති බවයි. පසුගිය අප්‍රේල් 19 වනදා අදාළ මෙහෙයුමෙන් පසු සිදුවූ රිය අනතුරකින් ඇමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකු සහ මෙක්සිකානු නිලධාරීන් දෙදෙනෙකු මියයාමත් සමඟ මෙම අනවසර මැදිහත්වීම කරළියට පැමිණියේය. මියගිය ඇමෙරිකානුවන් සී.අයි.ඒ. (CIA) නිලධාරීන් බව වාර්තා වන අතර, මෙක්සිකෝ ෆෙඩරල් රජය ඔවුන්ගේ සහභාගීත්වය පිළිබඳව කිසිදු පූර්ව දැනුවත් කිරීමක් ලබා නොතිබූ බව ජනාධිපතිනිය අවධාරණය කළාය.
මෙක්සිකෝ ආරක්ෂක මණ්ඩලය පෙන්වා දෙන්නේ මියගිය ඇමෙරිකානු නිලධාරීන්ට මෙක්සිකෝව තුළ ආරක්ෂක කටයුතුවල නිරත වීම සඳහා කිසිදු නිල අනුමැතියක් (Accreditation) නොතිබූ බවත්, ඉන් එක් අයෙකු සංචාරක වීසා මත මෙරටට ඇතුළු වී ඇති බවත්ය. ඕනෑම විදේශීය සහයෝගීතාවක් මෙක්සිකෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාතික ආරක්ෂක නීතිවලට අනුකූලව සිදුවිය යුතු බව රජය අවධාරණය කර සිටියි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය එකඟතාව පළ කර ඇති බවත්, මින් ඉදිරියට දෙරටේ ස්වෛරීභාවයට ගරු කරමින් කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ජනාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දෙරට එක්ව කටයුතු කළ යුතු වුවද, එය මෙක්සිකෝවේ නෛතික රාමුවෙන් බැහැරව සිදුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව මෙහිදී පෙන්වා දී තිබේ.














