කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියකට අදාළව බන්ධනාගාර ජේලර්වරයෙකු සහ පාලිකාවක අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 38 හැවිරිදි රැඳවියෙකු මෙලෙස මියගොස් ඇති අතර, ඊයේ (27) උදෑසන රැඳවියන් දෙදෙනෙකු සිරමැදිරිවලින් පැන යාමට උත්සාහ කළ අවස්ථාවේදී ඇති වූ ගැටුමකින් මෙම මරණය සිදුව ඇති බව වාර්තා වේ. මෙම සිදුවීමෙන් තවත් රැඳවියෙකු සහ බන්ධනාගාර නිලධාරියෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ බොරැල්ල පොලිසිය වෙන වෙනම විශේෂ විමර්ශන ආරම්භ කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවයි. රැඳවියන් පැන යාම වැළැක්වීමට උත්සාහ කිරීමේදී ඇති වූ තත්ත්වය සහ මරණයට හේතුව පිළිබඳව මෙන්ම නිලධාරීන්ගේ මැදිහත් වීම පිළිබඳව මෙහිදී වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගැනීමට නියමිතය.















