ඕස්ට්‍රේලියාවේ දේශීය පුවත් ආයතන සමඟ ගනුදෙනු ඇති කර ගැනීමට අපොහොසත් වන Meta, Google සහ TikTok වැනි ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම්වලට එරෙහිව සියයට 2.25 ක නව බද්දක් පැනවීමට එරට රජය තීරණය කර තිබේ. “News Bargaining Incentive” ලෙස නම් කර ඇති මෙම නව යෝජනාව හරහා එම සමාගම් ලබන දේශීය ආදායම මත බදු අය කෙරෙන අතර එම මුදල් ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා යෙදවීමට රජය අපේක්ෂා කරයි.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පරිභෝජනය ඉහළ ගොස් ඇති පසුබිමක එම පුවත් නිර්මාණය කරන ආයතනවලට සාධාරණ ගෙවීමක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව ඕස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය ඇනිකා වෙල්ස් අවධාරණය කරයි. මෙම නව නීතිය ලබන ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර කුඩා පුවත්පත් ආයතන සමඟ ගිවිසුම්ගත වන සමාගම් සඳහා යම් සහන ලබා දීමට ද රජය සූදානම්ය. කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවැනි ඩිජිටල් සේවා බදු පැනවීමට සිය විරෝධය පළ කර ඇති නමුත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසන්නේ තම රජය සැමවිටම තීරණ ගන්නේ ඕස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතාවය මත පදනම්ව බවයි.














