ඕස්ට්‍රේලියානු අනු ආයතනයකට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මුදලක් වෙනත් බැංකු ගිණුමකට බැර කිරීමේදී, එය සැක සහිත ගනුදෙනුවක් බවට HSBC බැංකුව විසින් අවස්ථා දෙකකදීම අනතුරු අඟවා තිබූ බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි. හිරු රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ බැංකුව විසින් ලබාදුන් අනතුරු ඇඟවීම් පවා නොතකා මෙම මුදල් නිදහස් කර ඇති බවයි. මෙම මූල්‍ය ගනුදෙනුවට අදාළ බැංකු ගිණුම් සකස් කිරීම සහ ගිවිසුම් අත්සන් කිරීම ඇතුළු සියලු පරිපාලන කටයුතු මහ බැංකු නිලධාරීන් විසින් සිදු කර ඇති බැවින්, මහ බැංකුවට මෙහි වගකීමෙන් බැහැර විය නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.
අදාළ මුදල් ඩුබායි රාජ්‍යය පාදක කරගත් ගිණුමකට බැර වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, මෙය රටේ මූල්‍ය පද්ධතියේ පවතින ප්‍රොටෝකෝල නිසි ලෙස අනුගමනය නොකිරීමේ ප්‍රතිඵලයක් බව මන්ත්‍රීවරයා චෝදනා කළේය. පවතින කළමනාකරණ ව්‍යුහය බිඳවැටීම හේතුවෙන් මෙවැනි බරපතල මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බවත්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඇතුළු රජය මීට සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය. මූල්‍ය පද්ධතිය පිළිබඳ මනා අවබෝධයක් ඇති බව පවසමින් බලයට පැමිණි පිරිස් යටතේ පද්ධතිය මෙලෙස බිඳ වැටීම බරපතල ගැටලුවක් බවත්, මේ පිළිබඳව වහාම සත්‍ය තොරතුරු රටට අනාවරණය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














