මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මවක සහ දියණියක හෙරොයින් මත්කුඩු සහ ඒවා අලෙවි කර උපයාගත් බවට සැක කෙරෙන මුදල් ද සමඟ අත්අඩංගුවට ගැනීමට මිල්ලනිය පොලිසිය සමත් වී තිබේ. කෙලෙස්ගමුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියක යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සිදුකළ පරීක්ෂාවකදී ඇය සන්තකයේ තිබූ මත්කුඩු පැකට් 15ක් සහ රුපියල් 51,570ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
අනතුරුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සැකකාරියගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී, පලායාමට තැත් කළ ඇගේ 45 හැවිරිදි මව ද හෙරොයින් මිලිග්‍රෑම් 2,220ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පවුලේ අනෙකුත් සාමාජිකයන් වන තරුණියගේ වැඩිමහල් සහෝදරයා සහ මවගේ දෙවන සැමියා ද මේ වන විට මත්ද්‍රව්‍ය චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන බව අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් මව සහ දියණිය ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
















