බගවන්තලාව, රාණිකාඩු ප්‍රදේශයේ සිට පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (28) උදෑසන අනතුරට ලක්වීමෙන් සිසුන් 34 දෙනෙකු තුවාල ලබා තිබේ. ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග පද්ධතියේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරා විසින් බස් රථය පාලනය කරගැනීම සඳහා එය පස් කන්දක ගැටීමට සලස්වා නතර කිරීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.
අනතුරින් තුවාල ලැබූ සිසුන් වහාම බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ. සෙසු සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වෛද්‍ය නිලධාරීන් තහවුරු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














