ඇමරිකාවේ ෆ්ලොරිඩා හි පිහිටි ‘පාම් බීච්’ (Palm Beach) සත්වෝද්‍යානයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කෝලා පැටවෙකුගේ උපතක් වාර්තා වී තිබේ. උපදින විට ජෙලි බෝංචි ඇටයක තරම් කුඩා වූ මෙම පැටවා, මාස හතකට ආසන්න කාලයක් මවගේ උණුසුම් පැස (Pouch) තුළ ආරක්ෂිතව වැඩී මේ වන විට පළමු වතාවට සිය හිස එළියට දමා ලෝකය දෙස බැලීමට පටන් ගෙන ඇත.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ‘එලින්’ නමැති මවට සහ ‘සිඩ්නි’ නමැති පියාට දාව මෙම පැටවා උපත ලැබීය. කෝලා පැටවුන් ඉපදී මාස හයක් පමණ යනතුරු මවගේ පැස තුළම රැඳී සිටින බැවින් සත්වෝද්‍යාන බලධාරීන්ට පවා උගේ රුව දැක ගැනීමට හැකි වූයේ අප්‍රේල් මාසයේදීය. මවට අවශ්‍ය පෝෂණය සහ ආදරණීය රැකවරණය ලබා දෙමින් ඇයගේ විශ්වාසය දිනා ගැනීමට සත්වෝද්‍යාන සේවකයින් දැක්වූ කැපවීම මෙම සාර්ථක උපතට ප්‍රධාන හේතුවක් විය.
මෙම උපතත් සමඟ කෝලාවරුන් වෙනුවෙන්ම අලුතින් ඉදිකරන ලද “අවුට්බැක්” (Outback) නමැති විශේෂිත වාසස්ථානය පසුගිය අප්‍රේල් 25 වැනිදා මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදී. ස්වභාවික දේශගුණය සහ පරිසරය මනාව පාලනය කළ හැකි මෙම මධ්‍යස්ථානය කෝලාවරුන්ගේ ජානමය විවිධත්වය රැකගැනීමේ ජාත්‍යන්තර වැඩසටහනක කොටසකි. වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති කෝලා පරපුරේ පැවැත්ම වෙනුවෙන් ෆ්ලොරිඩාවේදී සිදුවූ මෙම උපත වනජීවී ලෝකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.














