කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ප්‍රමුඛ පෙළේ හෝටල් සමාගමක් වන BROWNS BEACH HOTELS PLC, අද (අප්‍රේල් 28) සිට කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් නිල වශයෙන් ඉවත් කෙරේ. මෙල්ස්ටාකෝප් සමූහයට අයත් එයිට්කන් ස්පෙන්ස් හෝටල් ජාලය යටතේ පවතින මෙම සමාගමේ කොටස් ගනුදෙනු කළ හැකි අවසාන දිනය ඊයේ (අප්‍රේල් 27) දිනෙන් අවසන් විය.
පසුගිය වසර කිහිපය තුළ මෙරට සංචාරක ක්ෂේත්‍රයට එල්ල වූ පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ හෝටල් ක්ෂේත්‍රය දැඩි පසුබෑමකට ලක් විය. Sentido Heritance Negombo නමින් ක්‍රියාත්මක වන මෙම හෝටලය 2019 වසරේ සිට දිගින් දිගටම ලැබූ මූල්‍ය පාඩු සහ පවතින අයහපත් මූල්‍ය තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමේදී එහි සිටින සුළුපරිමාණ කොටස් හිමියන් සතු සෑම කොටසක් වෙනුවෙන්ම රුපියල් 30 බැගින් ගෙවීමට යෝජනා වී තිබේ. මෙම ඉවත් වීමේ යෝජනාවලිය මෙම වසරේ ජනවාරි 19 වැනිදා ප්‍රකාශයට පත් කර තිබූ අතර අද සිට එය ක්‍රියාත්මක වේ.













