රක්ෂණ සමාගම් විසින් රථවාහන රක්ෂණ ආවරණ ලබාදීමේදී වාහන හිමියන් වෙත ලබා දෙන ණය කාල සීමාව හෙවත් වාරික ගෙවීමේ සහන කාලය දින 30ක් දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) තීරණය කර තිබේ. මෙම නව සංශෝධනය එළඹෙන මැයි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව චක්‍රලේඛයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කරයි.
වර්තමාන ක්‍රමය යටතේ රක්ෂණ වාරික පියවීම සඳහා වාහන හිමියන්ට දින 60 සිට 90 දක්වා සහන කාලයක් හිමිවන නමුත් අනාගතයේදී මෙම සහන කාලය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ද පියවර ගන්නා බව රක්ෂණ නියාමන කොමිසම පවසයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රක්ෂණ ක්ෂේත්‍රය හැඩගැස්වීම මෙහි මූලික අරමුණ වන අතර සංවර්ධිත රටවල පවතින පරිදි රක්ෂණ වාරිකය ගෙවීමෙන් පසු පමණක් රක්ෂණ ආවරණය නිකුත් කරන ක්‍රමවේදයට මෙරට වෙළඳපොළ ද අවතීර්ණ වීමේ මුල් පියවරක් ලෙස මෙය සැලකේ.
ක්ෂේත්‍රයේ විනය ශක්තිමත් කිරීම සඳහා මෙම තීරණය ගත් බව රක්ෂණ සංගමයේ සභාපති ලසිත විමලරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව මැයි මස 01 වැනිදා සිට රථවාහන රක්ෂණ ලබා ගන්නා හෝ අලුත් කරන සියලුම පාරිභෝගිකයින්ට සිය වාරික ගෙවීම් පියවීම සඳහා හිමිවන්නේ උපරිම දින 30ක කාලයක් පමණි.














