බගවන්තලාව, වතුයාය ප්‍රදේශයේදී පාසල් සිසුන් 34 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. බස් රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීම (Break failure) හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පාසල වෙත රැගෙන යමින් සිටියදී බස් රථයේ තිරිංග ක්‍රියා නොකරන බව රියදුරුට දැනී ඇති අතර, ඔහු ඒ පිළිබඳව බස් රථයේ සිටි පිරිසට කෑගසා පවසා තිබේ. පාලනය කරගත නොහැකි වූ බස් රථය පසුව මාර්ගයෙන් ඉවතට පැන ඇත. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිසුන් විශාල පිරිසක් සිට ඇති අතර තුවාල ලැබූ සිසුන් 34 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි. කෙසේ වෙතත් බස් රථයේ රියදුරු සහ තවත් සිසුන් කිහිප දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව තුවාලකරුවන් රෝහල් ගත කිරීමට කටයුතු කළ අතර අනතුර සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














