දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් හානියට පත් ආගමික ස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර නැවත යථා තත්ත්වයට පත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින දෙපාර්තමේන්තු එක්ව මෙම සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම යෝජනාවට අනුව, හානියේ ස්වභාවය සලකා බලා ආගමික ස්ථාන සඳහා මූල්‍ය ආධාර ලබා දීමට නියමිතය. පූර්ණ වශයෙන් විනාශ වූ නමුත් එම ස්ථානයේම නැවත ඉදිකළ හැකි ආගමික ස්ථාන සඳහා රුපියල් මිලියන 7.5ක් දක්වා මූල්‍ය ආධාර ලබා දෙනු ඇත. මෙහිදී ආවාස ගෙවල්, ධර්ම ශාලා, කෝවිල්, පල්ලි වැනි අත්‍යවශ්‍ය ගොඩනැගිලි මෙන්ම සනීපාරක්ෂක, ජල සහ විදුලි පහසුකම් ප්‍රතිස්ථාපනය කිරීමට ප්‍රමුඛතාව හිමි වේ.
අර්ධ වශයෙන් හානි වූ ආගමික ස්ථාන සඳහා රුපියල් මිලියන 5ක් දක්වා ප්‍රතිපාදන වෙන් කෙරෙන අතර, සුළු හානි සිදු වූ ස්ථාන සඳහා ද අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් මූල්‍ය දායකත්වය සපයනු ලැබේ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය අනුමැතිය පළ කර ඇත්තේ ආගමික වතාවත් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය කඩිනමින් සකස් කිරීමේ අරමුණිනි.














