ශ්‍රී පාදස්ථානය ඇතුළු සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන කිහිපයක කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කිරීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව තිබේ. අද (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සංචාරක කාර්යසාධන බලකායේ රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ලැබී ඇති ඉල්ලීම් මෙන්ම කිකිළියාමාන සහ ඇල්ල යන ප්‍රදේශවල ද එවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. මේ සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනයන් සහ මූලික අවසර ලබාගැනීමේ කටයුතු කඩිනම් කිරීමට තීරණය විය.
මැයි මස 25 වන දා සිට රටවල් 40ක් සඳහා නිදහස් වීසා පහසුකම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් සංචාරක පැමිණීම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
යාල ඇතුළු වනෝද්‍යාන 19ක සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී විමසා බැලුණි. මෙම ස්ථානවල නඩත්තු කටයුතු පෞද්ගලික ආයතනයකට පවරා ඇති අතර නව වැසිකිලි පද්ධති ස්ථාපිත කිරීමට ද නියමිතය.
කොල්ලුපිටියේ සිට මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව නව සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් දිනකට සංචාරකයින් 2,000ත් 3,000ත් අතර ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂිතය.
විදේශ සබඳතා, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතිය සමාලෝචනය කෙරුණි.














