ශ්‍රී ලංකාව යනු සාමයේ දේශය බවත්, යමෙකුට සාමකාමී දේශයක් දැකීමට අවශ්‍ය නම් එය ශ්‍රී ලංකාවෙන් දැකිය හැකි බවත් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරති. ඒහිපස්සිකෝ සාම පාගමනේ සමාප්ති උත්සවය අද (28) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පවත්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
දඹුල්ල ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම සාම පාගමන මාතලේ, මහනුවර, මාවනැල්ල සහ යක්කල යන නගර පසුකරමින් අද දහවල් කැලණිය රජමහා විහාරස්ථානයට පැමිණි අතර, එතැන් සිට නිදහස් චතුරශ්‍රය දක්වා වැඩම කරවන ලදී. මඟ දෙපස රැස්ව සිටි විශාල ජනකායක් පාගමනට ගෞරව දැක්වූහ.
සමාප්ති උත්සවයට එක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියාසිටියේ මනුෂ්‍යත්වයෙන් පිරි ලෝකයේ ආදර්ශමත්ම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම රජයේ අරමුණ බවයි. ලෝක සාමය ප්‍රාර්ථනා කරමින් ඇමරිකාවට වැඩම කරවීම සඳහා ජය ශ්‍රී මහා බෝධි අංකුරය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ වෙත ජනාධිපතිවරයා අතින් මෙහිදී පූජා කෙරුණි.
සාම පාගමන මෙරට පැවැත්වීම සිහිපත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුකෙරුණු අතර, මෙය ශ්‍රී ලංකාවේ සාමකාමී ප්‍රතිරූපය ජාත්‍යන්තරයට ගෙන යන සුවිශේෂී අවස්ථාවක් ලෙස සනිටුහන් විය.














