වෙනස් වන දේශගුණය සහ කාලගුණය නිසි ලෙස කළමනාකරණය කරගනිමින් මෙරට කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙන යා යුතු බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව අවධාරණය කළේ ගොවිජන මන්දිරයේ අලුතින් ස්ථාපිත කරන ලද දේශගුණ සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය (Climate Smart Agriculture Centre) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ කෘෂි-ආහාර පද්ධතිය දේශගුණයට ඔරොත්තු දෙන සහ වෙළඳපොළ ඉලක්ක කරගත් ඵලදායී පද්ධතියක් බවට පරිවර්තනය කිරීමයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නෙදර්ලන්තය වැනි කුඩා රටවල් තාක්ෂණය භාවිත කරමින් ලෝක කෘෂිකාර්මික වෙළඳපොළේ දෙවැනි ස්ථානය දිනාගෙන ඇති බවත්, ශ්‍රී ලංකාව ද එම අත්දැකීම් ඇසුරින් සීමිත භූමියෙන් උපරිම අස්වැන්නක් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත්ය. රටේ පවතින ජල සම්පතෙන් නිසි ප්‍රයෝජන ගැනීම හරහා ගංවතුර පාලනය සහ වගා බිම් ප්‍රමාණය ඉහළ නැංවිය හැකි බවත්, වනසත්ව හානිය අවම කරමින් වගා බිම් ආරක්ෂා කර ගැනීමට නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය. සාම්ප්‍රදායික කෘෂිකර්මයෙන් මිදී මෙම නව “සුහුරු” ක්‍රමවේදයන්ට ගොවීන් හුරු කරවීම නිලධාරීන්ගේ වගකීමක් බව ද මෙහිදී අවධාරණය කෙරිණි.














