ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තීරණාත්මක වෙනසක් සනිටුහන් කරමින්, එහි සභාපති ෂම්මි සිල්වා මහතා සිය ධුර කාලය අවසන් වීමට වසරක් ඉතිරිව තිබියදී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සභාපතිවරයාට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමස්ත විධායක කමිටුවම ඊයේ (28) පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව සමූහ වශයෙන් ඉල්ලා අස්වී ඇති අතර, එම ඉල්ලා අස්වීම් අද (29) සිට ක්‍රියාත්මක වන බව ලේකම් බන්දුල දිසානායක මහතා තහවුරු කළේය.
2025 වසරේදී සිව්වැනි වරටත් නිතරගයෙන් සභාපති ධුරයට පත් වූ ෂම්මි සිල්වා මහතා, සාමාජික ක්‍රීඩා සමාජ අතර දැඩි ප්‍රසාදයක් දිනා සිටියද, පසුගිය මාස කිහිපය පුරා ඔහුට එරෙහිව ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගෙමින් පැවතිණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිට පිට පසුබෑම සහ ක්‍රිකට් පරිපාලනයට එල්ල වූ විවිධ චෝදනා හමුවේ මෙම ඉල්ලා අස්වීම් සිදු වී ඇති බව වාර්තා වේ. ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක ආරම්භය ලෙස බොහෝ දෙනා මෙම පියවර දෙස බලා සිටිති.















