ලෝක පාපන්දු සම්මේලනය (FIFA) විසින් ප්‍රථම වරට හඳුන්වා දුන් “FIFA සාම ත්‍යාගය” (FIFA Peace Prize) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමීම සම්බන්ධයෙන් එල්ල වන විවේචන ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ලෝකය පුරා සාමය සහ සමගිය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ට්‍රම්ප් මහතා කළ මෙහෙවර අගයමින් පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම සම්මානය පිරිනමන ලදී.
සමහර මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ පාපන්දු ක්‍රීඩකයන් මෙම තීරණය විවේචනය කළද, ධවල මන්දිර ප්‍රකාශක ඩේවිස් ඉන්ගල් (Davis Ingle) ප්‍රකාශ කළේ ට්‍රම්ප් මහතාගේ “ශක්තිය තුළින් සාමය” (Peace through Strength) විදේශ ප්‍රතිපත්තිය හරහා වසරක් තුළ යුද්ධ අටක් අවසන් කිරීමට සමත් වූ බවයි. මේ නිසා මෙම ත්‍යාගය සඳහා ලොව වඩාත්ම සුදුසු පුද්ගලයා ඔහු බව ධවල මන්දිරය අවධාරණය කරයි. ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව එක්ව සත්කාරකත්වය දරන 2026 පාපන්දු ලෝක කුසලානය එළඹෙන ජුනි මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබියදී මෙම පුවත දැඩි අවධානයට ලක්ව තිබේ.













