දෙවන ලෝක යුද්ධයෙන් නාසි ජර්මනිය පරාජය කිරීම සිහිපත් කරමින් රුසියාව සෑම වසරකම මැයි 09 වනදා මොස්කව් නුවර රතු චතුරශ්‍රයේ පවත්වනු ලබන දැවැන්ත හමුදා පෙළපාලිය මෙවර යුද උපකරණ සහ යුද ටැංකි ප්‍රදර්ශනයකින් තොරව පැවැත්වීමට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. යුක්රේනය සමඟ පවතින වර්තමාන යුද තත්ත්වය සහ මෙහෙයුම් අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
81 වන ජයග්‍රාහී සැමරුම වෙනුවෙන් පැවැත්වෙන මෙවර පෙළපාලිය සඳහා රුසියානු සන්නද්ධ බලකායේ සියලුම අංශ නියෝජනය කරමින් හමුදා භට පිරිස් පමණක් සහභාගී වීමට නියමිතය. කෙසේ වෙතත්, රුසියානු ජාතික ධජයේ වර්ණ විදහා දක්වමින් ගුවන් හමුදා යානා මඟින් සිදුකරන ගුවන් සංදර්ශනය පමණක් සුපුරුදු පරිදි පැවැත්වෙනු ඇත. වසර හතරකට අධික කාලයක් පවතින යුක්රේන ගැටුම හමුවේ රුසියාව සිය යුද ශක්තිය පෙරටු කරගත් මෙම වාර්ෂික උළෙල මෙලෙස සීමා කිරීම ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.














