දකුණු කොරියාවේ ප්‍රමුඛතම ඊ-වාණිජ්‍ය (e-commerce) ආයතනයක් වන කූපන්ග් (Coupang) සමාගමේ නිර්මාතෘ කිම් බොම් (Kim Bom) මහතාව එම සමාගමේ “තීරණාත්මක පාලන ඒකකය” ලෙස නම් කිරීමට දකුණු කොරියානු සාධාරණ වෙළඳ කොමිසම (FTC) පියවර ගෙන තිබේ. මෙමඟින් අදාළ සමාගම එරට දැඩි නියාමන පරීක්ෂාවන්ට සහ රෙගුලාසිවලට යටත් වනු ඇත.
පසුගිය වසරේ සිදුවූ දත්ත කාන්දු වීමක් සම්බන්ධයෙන් කූපන්ග් සමාගම කෙරෙහි බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී තිබූ අතර, මෙම නව නම් කිරීම හරහා සැම්සුන් සහ හුන්ඩායි වැනි දැවැන්ත සමාගම් මට්ටමටම කූපන්ග් සමාගම කෙරෙහි ද නීතිමය බලපෑම් එල්ල වනු ඇත. කෙසේ වෙතත්, මෙය ඇමරිකානු කොටස් වෙළඳපොළේ ලියාපදිංචි සමාගමක් වන බැවින්, මෙම දකුණු කොරියානු නීතිමය බලපෑම ඇමරිකාව සහ දකුණු කොරියාව අතර දේශපාලනමය වශයෙන් ද යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට ඉඩ ඇති බව විචාරකයෝ පවසති.














