ශ්‍රී ලංකාවේ දුම්වැටි මත පනවන බදු අඛණ්ඩව ඉහළ නැංවීම හේතුවෙන් නීතිවිරෝධී දුම්වැටි වෙළඳපොළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බවත්, එමගින් රජයේ බදු ආදායමට පවා හානි සිදුවීමේ අවදානමක් පවතින බවත් ලංකා දුම්කොළ සමාගම (CTC) සිය නවතම වාර්තාව මගින් අනතුරු අඟවයි. රජයේ මුළු බදු ආදායමෙන් සියයට 4ක් පමණ වන රුපියල් බිලියන 173.8ක මුදලක් 2025 වසරේදී භාණ්ඩාගාරයට ලබා දීමට එම සමාගම කටයුතු කර ඇති අතර, මෙලෙස දිගින් දිගටම බදු වැඩි කිරීම ප්‍රතිඵල විරහිත විය හැකි බව එහි සභාපති සුරේෂ් ෂා මහතා පෙන්වා දෙයි.
නීත්‍යානුකූල දුම්වැටි සහ නීතිවිරෝධී දුම්වැටි අතර පවතින මිල පරතරය පුළුල් වීම හේතුවෙන් පාරිභෝගිකයින් බදු නොගෙවන නීතිවිරෝධී නිෂ්පාදන වෙත යොමු වීම ප්‍රධාන අභියෝගයක් වී තිබේ. 2026 ජනවාරි මාසයේදී පැනවූ සියයට 6ක නිෂ්පාදන බදු වැඩි කිරීමත් සමඟ සිල්ලර මිල ඉහළ ගිය අතර, එය පාරිභෝගිකයන්ගේ වියදම් කිරීමේ හැකියාවට තවදුරටත් බලපෑම් එල්ල කර ඇත. මෙම තත්ත්වය හමුවේ නීතිවිරෝධී වෙළඳපොළ වර්ධනය වීම රජයේ බදු එකතු කිරීමේ ක්‍රියාවලියට මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට ද බාධාවක් විය හැකි බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.















