වයස අවුරුදු 12ක මන්ද මානසික සිසුවෙකුට පහර දී කන් බෙරයට හානි කළ බව කියන තලහිටිය විදුහලේ විදුහල්පතිවරයා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පාසල් වාරය ආරම්භ වූ අප්‍රේල් 20 වන දින මෙම සිදුවීම සිදුව ඇති අතර සිසුවා පසුදින කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. සිසුවා පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඔහුගේ දකුණු කන් බෙරයට හානි වී ඇති බව තහවුරු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර විදුහල්පතිවරයා හොරණ, දොඹගොඩ පදිංචි 55 හැවිරිදි අයෙකි. ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිසුවා පන්ති භාර ගුරුවරිය වෙත කේක් කැබැල්ලක් විසි කරනවා දැක ඔහුට අවවාද කළා මිස පහරදීමක් සිදු නොකළ බවයි.
තෙබුවන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (28) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප මත මුදා හැරුණු අතර තෙබුවන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














