කොළඹ තදාසන්න ප්‍රදේශය තුළ දුම්රිය සේවාව නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (Colombo Suburban Railway Project) යටතේ විදුලි දුම්රිය සේවාව ලබන වසර මුලදී ආරම්භ කිරීමට තීරණය වී තිබේ.
පළමු අදියර යටතේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට මාකුඹුර දක්වා ද, ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට රාගම දක්වා ද, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට පානදුර දක්වා ද විදුලි දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙහිදී දැනට පවතින පුළුල් පළල (Broad Gauge) වෙනුවට සම්මත පළල (Standard Gauge) යොදා ගනිමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට ද සාකච්ඡා වී තිබේ. ව්‍යාපෘතියට අදාළ මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සහ මතුවිය හැකි අභියෝග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.














