ගෝලීය ආර්ථිකයේ රුධිර නාලය බඳු වූ ලෝක තෙල් වෙළෙඳපොළේ දශක ගණනාවක ස්ථාවරත්වය අවදානමට ලක් කරමින් අතිශය තීරණාත්මක පුවතක් මැදපෙරදිගින් වාර්තා වේ. වසර 50කට අධික කාලයක් ලෝකයේ බලශක්ති තීරණ මෙහෙයවූ ප්‍රධාන පෙළේ බලවතෙකු ගත් මෙම හදිසි පියවර හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ජාත්‍යන්තර තෙල් මිල ගණන් සහ සැපයුම් දාමයන් සම්පූර්ණයෙන්ම වෙනස් වීමේ දැඩි අවදානමක් මතුව තිබේ.
වසර 1967 සිට ඔපෙක් (OPEC) සංවිධානයේ සක්‍රීය සාමාජිකයෙකු ලෙස කටයුතු කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එම සංවිධානයෙන් සහ OPEC+ සන්ධානයෙන් නිල වශයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ඊයේ ප්‍රකාශයට පත් කළේය. එළැඹෙන මැයි පළමුවනදා සිට ක්‍රියාත්මක වන මෙම ඓතිහාසික ඉවත්වීම හරහා දශක පහකට වැඩි කාලයක් පැවති සබඳතාවක් නිමාවට පත්වන අතර එය ලෝක දේශපාලන කරළියේ මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ද විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ.
තම රටේ දිගුකාලීන උපායමාර්ගික ආර්ථික දැක්ම සාක්ෂාත් කර ගැනීම සහ දේශීය බලශක්ති නිෂ්පාදනය සීමාවන්ගෙන් තොරව ඉහළ නැංවීම මෙම තීරණයට ප්‍රධාන හේතුව බව එමීර් රාජ්‍යය පෙන්වා දෙයි. මෙම පෙරළිකාර තීරණයත් සමඟ ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ තෙල් මිල තීරණය කිරීමේ බලය බෙදී යන ආකාරය පිළිබඳව මුළු මහත් ලෝකයම දැන් දැඩි විමසිල්ලෙන් පසුවෙයි.














